ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.
‘තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් 12%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් ගත හැකි වේ. සාර්ථක ව්‍යාපාර අදහසක් පැවතුණද එය ආරම්භ කිරීමට ප්‍රාග්ධනයක් නැති තරුණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාළ ණය මුදලක් අයදුම් කිරීමේදී ඊට සාපේක්ෂව ඇපකර තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය ලබාගැනීමට නුසුදුස්සන් වූ අතර, මෙබඳු අවස්ථාවල ඔවුන්ට ණය ලබා දෙන ලෙස රජය මෙතෙක් බැංකු වෙතින් කළ ඉල්ලීම්ද බැංකු විසින් නොසලකා හළ බවත්, මේ තත්ත්වය අවබෝධ කරගෙන විභවයක් සහිත ව්‍යාපාර පිළිබඳ අදහස් ඇති ව්‍යවසායක තරුණ-තරුණියන් තෝරාගෙන, මේ ණය ලබා දීමට පියවර ගන්නා බවත් ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරියා සඳහන් කළේය.
