Thursday, February 20, 2020

කොන්ක්‍රීට් වහලයෙන් රත්වන නිවසට ලාංකික විද්‍යාඥයාගෙන් විසදුම්

දිවා කාලයේදී ගොඬනැගිලි තුළ ඇතිවන අධික උණුසුම හේතුවෙන් ඔබත් අපහසුතාවයට පත් වී තිබෙනවාද? ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ මෙලෙස ගොඬනැගිලි ඇතුළත උණුසුම් වීම වැළක්විය නොහැකියි. විශේෂයෙන්ම වර්තමාන ඉදිකිරීම් වලදී භාවිතා කරන පැතලි කොන්ක්‍රීට් වහල (ස්ලැබ්) නිසා එම ගොඬනැගිලි වල අභ්‍යන්තර උෂ්ණත්වය සැළකිය යුතු මට්ටමකින් ඉහළ යෑමට හේතූ වනවා. මේ නිසා එම ගොඬනැගිලිවල වාසය කරන්නන් අපහසුතාවයට පත් වනවා මෙන්ම ගොඬනැගිලි ඇතුළත සුදුසු උෂ්ණත්වයක පවත්වාගෙන යෑමට අමතර පිරිවැයක් දැරිය යුතුයි. අද ශ්‍රී ලාංකීය පර්යේෂණ පිටුව වෙන් වන්නේ මේ ප්‍රශ්නයට දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සාර්ථක විසඳුමක් ලබා දීමට සමත් වූ

පර්යේෂණයක් සම්බන්ධයෙනුයි

පසුගිය වසර 7ක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉතා සීඝ්‍ර වර්ධනයක් ළඟා කරා ගැනීමට සමත් වුණා. වර්තමානය වන විට දළ දේශීය නිෂ්පාදිතයට ඉදිකිරීම් ක්ෂේත්‍රය 10%ක දායකත්වයක් ලබා දෙයි. දිනෙන් දින ඉදිවන නිවාස, තට්ටු ගොඬනැගිලි, මහා නගර වැනි ව්‍යාපෘතීන් හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයද නව තාක්ෂණය හා ඒ සම්බන්ධ පර්යේෂණ වලට යොමු වීම වැදගත්. මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් දියත් කළ

මේ පර්යේෂණය එම අවශ්‍යතාවයද සැපිරීමට සමත් වූවක්.

මෙම පර්යේෂණය සාර්ථකව සිදු කළ තරුණ විද්‍යාඥ ආචාර්ය කසුන් චින්තක නන්දපාල මහතා වර්තමානයේදී ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් තාක්ෂණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයේ නිරත වනවා. ආචාර්ය කසුන් නන්දපාල මහතා මීට පිලියම්ළි ලෙස ිතුරු දැක්වූයේ මෙලෙසයි.

1. මෙම පර්යේෂණය සඳහා ඔබ යොමු වුණේ කෙසේද?

මම බ/ ගලඋඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, බ/බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනයත් ලබා මොරටුව විශ්ව විද්‍යාලයට 2007 වර්ෂයේදී සුදුසුකම් ලබනවා. එහිදී ඕනෑම ඉංජිනේරු ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබුණත් කුඩා කල පටන් තිබුණු කැමැත්ත නිසා සිවිල් ඉංජිනේරු විද්‍යාව තෝරා ගන්නවා. එයින් ප්‍රථම පන්ති සාමාර්ථයක් සමඟින් විද්‍යාවේදී උපාධිය නිමා කර සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කිරීමට පටන් ගත්තා. ඒ කාලයේදී තමයි මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා සමඟ මේ පර්යේෂණ කටයුත්තට යොමු වන්නේ.

2. පැතලි කොන්ක්‍රීට් වහල (ස්ලැබ්) හා සබැදුණු වාසි මොනවාද?

තාක්ෂණිකව ගත් විට පැතලි කොන්ක්‍රීට් වහල්වල අවාසි වලට වඩා වාසි වැඩියි. ප්‍රධානම වාසියක් තමයි එහි මතුපිට අපට අවශ්‍ය ආකාරයට භාවිතා කළ හැකි වීම. සාමාන්‍ය උළු හෝ ශීට් වහල වලින් එම වාසිය ලබා ගන්න බැහැ. ඒ වගේම සුළිසුලං වැනි ස්වභාවික උවදුරු වලට ඔරොත්තු දීමේ හැකියාවත් ස්ලැබ් සහිත නිවාස වලට වැඩියි. ඒ නිසා එවැනි නිවාස වල ආයු කාලයත් වැඩි වෙනවා. එවන් වාසි නම් බොහොමයක් තියෙනවා.

නමුත් අපි කරපු අධ්‍යයනයකින් හෙළි වුණා ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපිය රටවල පැතලි වහල භාවිතය ඉතාම අල්ප බව. එයට හේතුව ලෙස බොහෝ දෙනා පවසන්නේ එවන් නිවාස වල දිවා කාලයේ ඇති අධික උණුසුම් බව. එයට පිළියමක් ලෙස තමයි මේ පර්යේෂණය සිදු කෙරෙන්නේ.

3. පැතලි කොන්ක්‍රීට් වහල නිසා ඇතිවන අධික උණුසුම් බව මඟ හරවා ගැනීමට වර්තමානයේ භාවිතා කරන විකල්ප මොනවාද?

මම මුලින් පැවසූ පරිදි පැතලි කොන්ක්‍රීට් වහල්වල ප්‍රධානම අවාසිය තමයි අධික උණුසුම් බව. ඒ සඳහා ලෝකයේ භාවිතා වන විකල්ප බොහොමයක් තිබෙනවා. නමුත් ඒ බොහෝ දේවල් ශ්‍රී ලංකාව වැනි රටවලට සුදුසු නැහැ. ඒ බොහෝ ක්‍රම වල මිල ඉතාමත් ම අධිකයි. තවත් සමහරක ශක්තිය සහ බර දරා ගැනීම පිළිබඳ ගැටළුවක් පවතිනවා. සමහරක කල් පැවතීම පිළිබඳ ගැටළු තිබෙනවා. එහෙත් අප විසින් මේ නිර්මාණය කර තිබෙන පද්ධතිය ඒ සියලුම ගැටළු වලට විසදුම් ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. අප එය පර්යේෂණාත්මකව ඔප්පු කර තිබෙනවා.

4. මෙම නිෂ්පාදනය සඳහා දේශීය අමු ද්‍රව්‍ය යොදා ගැනීමට ඔබ තීරණය කලේ ඇයි?

එය ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඒ සඳහා හේතු කිහිපයක් තිබෙනවා. අප හැම දන්නා පරිදි මේ ලෝකයේ දැනට පවතින විශාලම ප්‍රශ්නය ගෝලීය උණුසුම. එයට තිබෙන ප්‍රධානම පිළියම ශක්තිය අපතේ යාම අවම කිරීම. අපි හිතමු මැද පෙරදිග රටක නිපදවන අමු ද්‍රව්‍යයක් අපි භාවිතා කරනවා කියලා, එය නිස්සරණයේ සිට ප්‍රවාහනයට, ගබඩා කිරීමට ආදී සියලුම දේට ශක්තිය වැය වෙනවා. ඒ නිසා දැන් ධෛර්යමත් කරන්නේ හැකි තරම් දේශීය අමුද්‍රව්‍ය භාවිතා කිරීම. එය තාක්ෂණික කාරණයක්.

එත් සමගම අප කාටත් වැටහෙන දෙයක් තමයි ඉහත කියූ හැම දෙයටම (නිස්සරණය, ප්‍රවාහනය, ගබඩා කිරීම ආදී) මිලක් තියෙනවා කියන එක. අප වැනි තුන් වැනි ලෝකයේ රටකට එවන් ඉහල මිල ගණන් දර ගැනීමට අපහසුයි.

මේ පද්ධතියේ දී අප යොදා ගන්න ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි උණ බට. එය මෙරට සුලබව දක්නට ලැබෙන ශාකයක් මෙන්ම ඉතාම ඉක්මනින් වැවෙන ශාකයක්. ඒ නිසා පිරිවැය අඩුයි වගේම පරිසර හානියත් අවමයි.

6. ඔබ නිර්මාණය කළ මේ පරිවාරක පද්ධතියේ සුවිශේෂී ලක්ෂණ මොනවාද?

අපගේ ප්‍රධාන අරමුණ වුණේ ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපිය රටවලට සුදුසු පරිවාරක පද්ධතියක් (insulation system) සැලසුම් කිරීම. එහිදී මුලින්ම අවධානය යොමු කලේ දැනට පවතින පද්ධති වල ප්‍රධාන අඩුපාඩු වන ශක්තිය හා කල් පැවතීම අතින් ඉහල පද්ධතියක් සැලසුම් කිරීම. මේ පද්ධතියේදී අපට හැකි වුණා වහලක් මත ප්‍රායෝගිකව ඇති විය හැකි ඕනෑම බරක් දරා ගත හැකි පරිදි එය සැලසුම් කිරීමට. එමගින් අප බලාපොරොත්තු වුණේ වහල මත උද්‍යාන (roof top garden) කියන සංකල්පයත් සමඟ මෙය මුසු කිරීමට. ඒ අතරම තාප පරිවරණය අතින් මේ පද්ධතිය උළු වහලකට වඩා පරිවරණ ගුණයෙන් යුතු බව පර්යේෂණාත්මකව සහ සංසන්දනාත්මකව ඉදිරිපත් කිරීමටත් අප පුළුවන් වුණා. එපමණක් නොවෙයි, ශක්ති ගණනය කිරීමකින් අපට හැකි වුණා මෙම පරිවාරක පද්ධතිය භාවිතයෙන් ගොඬනැගිල්ලක උෂ්ණත්වය අතින් සැප පහසු මට්ටමක තබා ගැනීමට අවශ්‍ය ශක්තිය 20%කින් අඩු වන බව පෙන්වීමට. තවද මෙම පද්ධතිය යෙදීමට වැය වන අමතර පිරිවැය වහලයට යන මුළු වියදමෙන් 5%ක් දක්වා අඩු කිරීමටත්, එම වියදම අවුරුදු 5–7 දක්වා කාලයකින් පියවන බව ඔප්පු කිරීමටත් අප පර්යේෂණ කණ්ඩායම සමත් වුණා.

7. මෙම නව නිෂ්පාදනය සඳහා ඔබ කණ්ඩායම විසින් පේටන්ට් බලපත්‍ර දෙකක් ලබා ගෙන තිබෙනවා නේද?

ඔව්. පේටන්ට් අංක 17803 සහ අංක 18880 යටතේ බලපත්‍ර දෙකක් ලබා ගැනීමට අපට හැකි වුණා. පළමු බලපත්‍රය ලබා ගත්තේ මෙහි බර සංචරණය කිරීමේ සැකැස්මට. එහිදී අප ජලය ගලා යාමට හැකි වන ලෙස සහ ඕනෑම ප්‍රායෝගික බරක් දරා ගත හැකි ආකාරයට එම සැකසුම නිර්මාණය කිරීමට. දෙවැන්න උණ බට සහ වායු අවකාශයක් මුසු කර නිර්මාණය කළ පාරිවාරක ද්‍රව්‍යයට. එමගින් ඉතා ම අඩු වියදමකින් හොඳ තාප පරිවරණයක් ලබා ගැනීමට අපට හැකි වුණා.

8. පර්යේෂණවල නිරත වෙද්දී ඔබ මුහුණ දුන් අභියෝග හා ඒවා ජයගත්තේ කෙසේද?

දහසකුත් එකක් අභියෝග වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒවා එකින් එක විස්තර කිරීම අනවශ්‍යයි කියල හිතනවා. ඒ හැම අභියෝගයක්ම පන්නරයක් කරගෙන ඉදිරියට ගියා. මහාචාර්ය හල්වතුර මහතා, මව, පියා, සහෝදරයා, බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සහ අපගේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහයෝගය නොමැති වුවා නම් මෙහි අවසාන ඵලයක් නොදකින්න බොහෝ සේ ඉඩ තිබුණා. එම නිසා අනිවාර්යයෙන්ම ඒ සියලු දෙනාම ඉතාම ආදරයෙන් සිහිපත් කල යුතුයි.

9. මෙම පර්යේෂණයෙන් නිර්මාණය කළ පරිවාරක පද්ධතිය වෙළඳ පොළට හඳුන්වා දීමට ඔබ බලාපොරොත්තුවනවාද? එහි නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් ඔබට දළ අදහසක් තිබෙනවාද?

අනිවාර්යයෙන්ම. මම කලින් කිව්වා වගේ මෙහි පිරිවැය දළ වශයෙන් වහලයට යන වියදමින් 5%ක් පමණ. ඒ සදහා අවශ්‍ය උපදේශන කටයුතු කිරීමට අනිවාර්යයෙන්ම සූදානමින් සිටිනවා.

ඝර්ම කලාපීය රටක් වශයෙන් ගොඬනැගිලි ඇතුළත ඇතිවන අධික උණුසුම අවම කරගැනීම ශ්‍රී ලංකාව හමුවේද පවතින අභියෝගයක්. එම අභියෝගයට විසඳුමක් ලෙස දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි කල් පවත්නා පැතලි කොන්ක්‍රීට් වහලයට යෙදිය හැකි තාප පරිවාරක පද්ධතියක් මෙම පර්යේෂකයින් විසින් නිර්මාණය කිරීම අප ඉතාමත් ප්‍රසංශාවට ලක් කළ යුතුයි. අනාගතයේදී ඔබ ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවසකට හෝ ගොඬනැගිල්ලකටද මෙම තාප පරිවාරක පද්ධතිය යොදාගැනීමෙන් ඇතුළත සුදුසු උෂ්ණත්වයක පවත්වාගෙන යෑමට අමතර පිරිවැයක් දැරීමට සිදු වීම වළක්වාගත හැක. මෙවන් කාලීන සහ අප රටට වැදගත් වන ප්‍රශ්න උදෙසා ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් විසින්ම සාර්ථක විසඳුම් ඉදිරිපත් කිරීම ආඩම්බරයට කරුණක්.

  සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

Email-sivlima.lk@gmail.com

Web- https://www.sivilima.work

https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU

Pinterest https://pin.it/7yoplua

#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය


No comments:

Post a Comment