Friday, May 26, 2017

පුරාවස්‌තු සංරක්‌ෂණයට නව තාක්‌ෂණය


තාක්‌ෂණය දිනෙන් දින දියුණු වන්නේ නො සිතන තරම් ශීඝ්‍රයෙනි. එහෙත් එකී තාක්‌ෂණයේ ප්‍රතිලාභ රටේ දියුණුවට හා දීර්ඝකාලීන යහපැවැත්මට ඵලදායී ලෙස අප යොදාගන්නේ ද යන්න නැවත වරක්‌ සිතාබැලිය යුතු ය. මේ ලිපිය දිගහැරෙන්නේ පුරාවිද්‍යා ස්‌මාරක සංරක්‌ෂණය උදෙසා මෑතක දී අප රටට හඳුන්වා දුන් දියුණු තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ ගැන ඔබව දැනුවත් කිරීමට ය. 



ලක්‌දිව පුරා විසිරී පැතිරී ඇති පුරාවිද්‍යා ස්‌මාරක අප රටේ ශ්‍රී විභූතිය කියාපාන කැඩපතක්‌ බඳු ය. දිනෙන් දින විනාශ මුඛයට ඇදවැටෙන මේ ඓතිහාසික ස්‌ථාන සංරක්‌ෂණය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතන රැසක්‌ ම පිහිටුවා ඇත. ඔවුන් ගේ නොමද කැප වීමේ ප්‍රතිඵල ලෙස අදට ද මේවා නො නැසී පවතී. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට අනුව දැනට රටක්‌ ලෙස අපට ඇති සුවිශාල ම අභියෝගය වන්නේ කැණීම් කොට නව පුරාවිද්‍යා ස්‌ථාන සොයාගැනීමට වඩා නිරාවරණ කරන ලද ස්‌ථාන සංරක්‌ෂණය කිරීම ය. දැනට මෙරට පුරා පවතින ඓතිහාසික ස්‌ථාන නිවැරැදි ලෙස සංරක්‌ෂණය කිරීම සඳහා අවම වශයෙන් දශක අටක කාලයක්‌ වත් ගත වන බව ඔහු ගේ අදහසයි. ඒ මහතා මේ අදහස්‌ පළ කර සිටියේ "අපේ උරුමයන් ඩිජිටල්ගත කිරීම" මැයෙන් පසුගිය දා මොරටුව විශ්වවිද්‍යාලයයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී ය. මේ හමුව කැඳවා තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලයයේ මූලිකත්වයෙන් දියත් කරන ලද මෙරට ඓතිහාසික ස්‌ථාන ඩිජිටල්ගත කොට සංරක්‌ෂණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ය.

ඕස්‌ටේ්‍රලියානු පොදුරාජ්‍ය මණ්‌ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය (CSIRO) විසින් හඳුන්වා දෙන ලද හවර්මැප් තාක්‌ෂණය (Hovermap technology) මේ ව්‍යාපෘතියට භාවිත කර ඇත. තව ද මේ ව්‍යාපෘතිය සඳහා CSIRO සංවිධානය නියෝජනය කරමින්

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය නවින්ද කෝට්‌ටගේ, මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පුරා විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමිත මානවඩු සහ ආචාර්ය සුලෝචනා සූරියආරච්චි යන මහත්ම මහත්මීන් සම්බන්ධ වී ඇත. තව ද ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදකයන් වන RCS2 තාක්‌ෂණික ආයතනය ද මේ සමාජ මෙහෙවර සමඟ අත්වැල් බැඳගෙන සිටී.

ලයිඩා (Lidar) තාක්‌ෂණය

හවර්මැප් තාක්‌ෂණය ලයිඩා පාදම කරගෙන නිර්මාණය කර ඇත. එම නිසා ප්‍රථමයෙන් ම ලයිඩා තාක්‌ෂණය හඳුනාගනිමු.

රාත්‍රී කාලයේ ඔබට නො පෙනෙන වස්‌තුවක්‌ බැලීමට ඔබ විදුලි පන්දම භාවිත කරයි. විදුලි පන්දමෙන් නිකුත් වන අලෝක ධාරා වස්‌තුව මත පතිත වන අතර පරාවර්තිත ආලෝක ධාරා නැවත ඔබ ඇස මත පතිත වනු ඇත. එමගින් අපට වස්‌තුව පිළිබඳ සංවේදන ඇති වේ. මේ ක්‍රියාකාරකමේ දී විදුලි පන්දම ප්‍රභවය ලෙසත් ඇස සන්වේදකය ලෙසත් ක්‍රියා කරයි. තව දුරටත් ගැඹුරින් විග්‍රහ කිරීමට ප්‍රභවය හා සංවේදකය එක ම ලක්‌ෂ්‍යයක පවතින්නේ යෑයි උපකල්පනය කරමු. ආලෝක කිරණයක්‌ ප්‍රභවයෙන් නිකුත් වී නැවත ඇස මතට පතිත වීමට ගත වන කාලය මිනිය හැකි නම් අප දැනටමත් දන්නා ආලෝකයේ වේගය

(3x108 ms-1) ද ඇසුරු කොටගෙන ප්‍රභවයේ සිට වස්‌තුවට ඇති දුර ගණනය කළ හැකි ය.

ලයිඩා තාක්‌ෂණයේ ඇත්තේ මීට සමාන සිද්ධාන්තයකි. කිරණ නිකුත් කිරීම හා ග්‍රහණය කිරීම අතර කාලය එයට ගණනය කළ හැකි අතර ඒ ඇසුරෙන් වස්‌තුවට ඇති දුර ගණනය කළ හැකි ය. ඇස සංවේදී ආලෝක කිරණ වෙනුවට අධෝරක්‌ත කිරණ භාවිත කරයි. විදුලි පන්දමේ සේ ම ලයිඩා උපකරණයට ද දර්ශන පරාසයක්‌ පවතී. තව ද ත්‍රිමාන වස්‌තුවක්‌ සම්පූර්ණයෙන් නිරීක්‌ෂණය කිරීමට විදුලි පන්දම වස්‌තුව දෙසට යොමු කරගෙන එම වස්‌තුව වටා ගමන් කළ යුතු සේ ම නිවැරැදි ලෙස සිතියම්ගත කිරීමට නම් ලයිඩා උපකරණය ත්‍රිමාන වස්‌තුව වටා ගෙන යැම ද සිදු කළ යුතු ය. ලයිඩා උපකරණයේ සංවේදී දුර සහ තවත් විචල්‍යයන් අනුව එය භාවිත කළ හැකි අවස්‌ථා සහ ආකාරය තීරණය වේ. විවිධ හැඩයන් ගෙන් හා සන්නාමයන් ගෙන් වෙළෙඳපොළේ ඇති ලයිඩා උපකරණ මිල අධිකකම නිසා ම විශේෂ භාවිතයන් සඳහා පමණක්‌ යොදාගැනේ.

මෙහි ප්‍රමුඛතම භාවිතය හමු වන්නේ ස්‌වයංක්‍රීය මෝටර් රථ නිෂ්පාදනයේ දී ය. ලයිඩා කොටස්‌ සවි කරන ලද බඳක්‌ සහිත ව සකසන මොටර් රථ තමා අවට ඇති බාධාවන් හඳුනාගන්නේ පහසුවෙනි. රථයේ සිට බාධාවට ඇති දුර පෙර සඳහන් කළ ආකාරයට ගණනය කර ආරක්‌ෂාකාරී ක්‍රියාමාර්ග ස්‌වයංක්‍රීය ව ගත හැකි වන ලෙස මේ රථ නිපදවා ඇත.

හවමැප් තාක්‌ෂණය

ඕස්‌ටේ්‍රලියානු CSIRO ආයතනය විසින් හඳුන්වා දෙනු ලබන හවර්මැප් තාක්‌ෂණය ලයිඩා උපකරණයකින් හා පරිගණකයකින් සමන්විත ය. හවර්මැප් පද්ධතිය සඳහා සිලින්ඩරාකාර ලයිඩා උපකරණයක්‌ භාවිත වන අතර එහි අන්තර්ගත දර්පණ ශීඝ්‍ර ලෙස භ්‍රමණය වී නිකුත් වන අධෝරක්‌ත කිරණ ධාරාවන් අංශක 360ක කෝණයක්‌ ඔස්‌සේ විසුරුවා හරින්නේ තැටියක අකාරයෙනි. තව ද දර්පණයන්හි භ්‍රමණ අක්‌ෂයට ප්‍රතිවිරුද්ධ අක්‌ෂය ඔස්‌සේ සිලින්ඩරාකාර ලයිඩා උපකරණය පරිභ්‍රමණය වීමෙන් අංශක 360ක කෝණයක්‌ ම ආවරණය කරයි. සම්පූර්ණ පද්ධතිය ම ගත් කල කිරණවලට සංවේදී දුර අරය කරගත් ගෝලාකාර ප්‍රදේශයක පවතින වස්‌තුන්හි දත්ත ලබාගැනීමට හැකි අතර මේ නිසා ම මෙය ලක්‌ෂීය ප්‍රභවයක්‌ ලෙස ක්‍රියා කරයි.

මේ ව්‍යාපෘතිය සඳහා භාවිත කරන ලද ලයිඩා උපාංගයෙන් අධෝරක්‌ත කිරණ කදම්බ 16ක්‌ එකිනෙකට වෙනස්‌ ආනතිවලින් විසුරුවා හරියි. මේ නිසා ම සිතියම්ගත කරන පෘෂ්ඨයේ එක්‌ ලක්‌ෂ්‍යයක්‌ මත කිරණ කිහිපයක්‌ ම පතනය වීමෙන් ඉතා ම නිරවද්‍ය ප්‍රතිඵල ලබාගත හැකි ය. තව ද භාවිත කරන ලද ලයිඩා උපාංගය මීටර 100ක පරාසයක්‌ දක්‌වා සංවේදී බැවින් විශාල ප්‍රදේශයක්‌ එක විට සිතියම්ගත කිරීමට හැකි ය. ඒ සඳහා ෙඩ්‍රාaන් යන්ත්‍රයක්‌ ආධාරයෙන් හවර්මැප් පද්ධතිය සිතියම්ගත කිරීම, අවශ්‍ය ප්‍රදේශයට ඉහළින් යවා හෝ පහළ මට්‌ටමේ වස්‌තු සිතියම්ගත කිරීම අතින්

රැගෙන වස්‌තූන් වටා ගමන් කිරීමෙන් හෝ සිදු වේ.

හවර්මැප් පද්ධතියෙන් නිපදවන දත්ත, ඒ හා සම්බන්ධිත පරිගණකයේ ගබඩා කර තබාගනී. තමන් විසින් ම නිර්මාණය කරන ලද තාවකාලික අවකාශයක්‌ තුළ සිතියම්ගත කිරීම සිදු වන නිසා තමා ගේ භෞමීය පිහිටුම සම්බන්ධ දත්ත (GPS) එතරම් වැදගත් නො වේ. මේ තාක්‌ෂණයේ ප්‍රබල වාසියක්‌ ලෙස මෙය සැලකිය හැකි ය.

සංවේදකය වෙත ළඟා වන සැම කිරණයක්‌ ම එම කිරණය පරාවර්තිත පෘෂ්ඨය සම්බන්ධ දත්ත සමූහයක්‌ ගෙන එන බැවින් ඒවා ඇසුරු කොටගෙන තාවකාලික අවකාශයක සිතියම්ගත කිරීම සිදු වේ. ග්‍රහණය කරගත් සැම කිරණයක්‌ ම තාවකාලික අවකාශයේ ලක්‌ෂ්‍යයක්‌ මගින් නිරූපනය වන අතර මෙවැනි ලක්‌ෂ්‍ය මිලියන ගණනකින් ත්‍රිමාන සිතියමක්‌ ගොඩනැෙග්. එම නිසා ම මෙවැනි සිතියමක්‌ ලක්‌ෂීය වලා සටහනක්‌ (point cloud) ලෙස හඳුන්වයි. සිතියම්ගත කිරීම අවසානයේ හවර්මැප් උපකරණයෙන් ලබා දෙන දත්ත ගොනුව බාහිර පරිගණකයක්‌ මගින් විවෘත කර සංස්‌කරණයන්ට ලක්‌ කිරීමෙන් ලක්‌ෂීය වලා සටහන දැකගත හැකි ය.

හවර්මැප් තාක්‌ෂණයේ වාසි කිහිපයක්‌ පහත පරිදි වේ.

ò භෞමීය පිහිටුම දැනගැනීමට GPS අවශ්‍ය නො වේ.

ò දත්ත සංස්‌කරණය ඉතා ම ඉක්‌මනින් සිදු වීම (දත්ත ලබාගැනීමට ගත වන කාලය මෙන් දෙගුණයක්‌ දත්ත සංස්‌කරණයට දළ වශයෙන් ගත වේ).

ò අවට පරිසරයේ අලෝක තත්ත්වය මත රඳා නො පවතින බැවින් මඳ ආලෝකයේ දී හෝ රාත්‍රී කාලයේ දී වුව භාවිත කළ හැකි ය.

ò එක ම ප්‍රදේශයක්‌ කොටස්‌ වශයෙන් සිතියම්ගත කරන ලද්දේ නම් එම එක්‌ එක්‌ කොටස සම්බන්ධ කර තනි එක්‌ ත්‍රිමාන සිතියමක්‌ නිර්මාණය කිරීමේ හැකියාව.

භාවිත

ò වත්කම් කළමනාකරණය

ò යටිතල පහසුකම් හා ගොඩනැගිලි සමීක්‌ෂණය

ò භූගත දෝනා හෝ ගුහා ත්‍රිමාන ව සිතියම්ගත කිරීම

ò පුරාවිද්‍යා සංරක්‌ෂණ හා පර්යේෂණ සඳහා

ත්‍රිමාන මුද්‍රණය (3D printing Technology)

ලක්‌ෂීය වලා සටහන විශේෂ මදුdකාංගයක්‌ භාවිත කර ඝන වස්‌තුවක්‌ බවට පත් කර තවදුරටත් සංස්‌කරණය කිරීමෙන් මුද්‍රණය කළ හැකි ත්‍රිමාන සිතියමක්‌ ලබාගත හැකි ය. ත්‍රිමාන මුද්‍රණය එතරම් ඔබට සමීප නො වුණත් එම ක්‍රියාවලිය ද ඉතා ම වැදගත් ය. ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර මඟින් පරිගණකයෙන් ලබා දෙන ත්‍රිමාන රූපයක්‌ අතින් ඇල්ලිය හැකි වස්‌තුවක්‌ බවට පත් කිරීම සිදු වේ. මිනුම් සහ ස්‌වරූපය අතින් සැබෑ වස්‌තුවේ කුඩා සැලසුමක්‌ ලෙස සර්වසම වන ආකාරයෙන් මුද්‍රණය කරගත හැකි ය. ත්‍රිමාන මුද්‍රණ තාක්‌ෂණය ගැන තවදුරටත් තොරතුරු ඔබට මීළඟ ලිපියෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

පුරාවිද්‍යා ස්‌ථාන සංරක්‌ෂණය කිරීම

මොරටුව විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්‌ඩායම දියත් කරන ලද ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, සීගිරිය සහ ගාල්ල යන ප්‍රදේශවල පිහිටි ඉතා ම වටිනා පුරා විද්‍යාස්‌ථාන සිතියම්ගත කිරීම සිදු විය. මෙහි දී හවර්මැප් උපකරණය ෙඩ්‍රාaන් යන්ත්‍රයක අමුණා සහ අතින් රැගෙන යැමෙන් සිතියම්ගත කරන ලදී. මෙලෙස ලබාගත් දත්ත ත්‍රිමාන ලෙස මුද්‍රණය කිරීම ද සිදු කරන ලදී.

ව්‍යාපෘතියේ ප්‍රතිලාභ

ò පුරාවිද්‍යාස්‌ථානවල ත්‍රිමාන නිර්මාණය ඩිජිටල් දත්ත ලෙස ගබඩා කර තැබීම.

ò අවදානමට ලක්‌ වූ ස්‌ථාන නැවත නැවත සිතියම්ගත කිරීමෙන් වෙනස්‌කමක්‌ සිදු වී ඇත් දැයි දැනගත හැකි වීම.

උදා: සීගිරිය කැටපත් පවුරේ පිටතට ඇල වීමක්‌ සිදු වන බවට මත පළ වී ඇති අතර නැවත නැවත සිතියම්ගත කිරීමෙන් කැටපත් පවුරේ වෙනසක්‌ සිදු වී ඇත් දැයි නිවැරැදිව හඳුනාගත හැකි ය.

ò විනාශ වන ස්‌ථාන කල් තියා හඳුනාගත හැකි අතර පිළියම් කල් තියා ම සැලසුම් කිරීම.

ò උස, පළල, දිග, වක්‍රතාව වැනි දෑ සිතියම ඇසුරෙන් නිවැරැදි ව ම ගණනය කළ හැකි බැවින් සංරක්‌ෂණ කටයුතුවල දී මනා පිටිවහලක්‌ වීම.

ò සිතියම්ගත කරන ලද ස්‌ථාන ත්‍රිමාන ලෙස මුද්‍රණය කළ හැකි බැවින් ඉදිරිපත් කිරීම්වල දී, අධ්‍යාපනික කටයුතුවල දී සහ සැලසුම්කරණයේ දී පහසු වීම.

ò වසර ගණනාවක්‌ පුරා කරන ලද මිනුම්වලින් ගත් දත්ත මේ තාක්‌ෂණය භාවිතයෙන් මිනිත්තු කිහිපයකින් ලබාගත හැකි වීම.

ò කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි වීම.



මේ අයුරෙන් ගත් කල පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර ව නව ක්‍රමවේදයන්හි පිහිට පැතීම හැකි ඉක්‌මනින් කළ යුතු ය. මන්ද සාම්ප්‍රදායික ක්‍රම තුළ එල්බ සිටීමෙන් තවත් කෙටි කාලයක්‌ ඇතුළත නිවැරැදි සංරක්‌ෂණයක්‌ කරගත නොහැකි වුව හොත් මතු උපදින පරපුරට දැකීමට වත් පුරා වස්‌තුවක්‌ ඉතිරි වේ ද යන පැනය අප හැම ඉදිරියේ ඉතිරි ව ඇති බැවිනි. චණ්‌ඩ හිරු රැස්‌ නො තකා මහා වර්ෂා මැද ගඩොලෙන් ගඩොල මනිමින් පුරාවිද්‍යා ගවේෂකයන් ගේ තෙළිතුඩින් කඩදහිය මත දිගහැරෙන අපේ අතීත උරුමය නව තාක්‌ෂණික ක්‍රම භාවිතය තුළ වඩාත් ශීඝ්‍රයෙන් හා නිර්වද්‍යතාවෙන් යුතු ව සංරක්‌ෂණය කිරීමට හැකි ය. මින් සපථ වන කරුණ වන්නේ සාම්ප්‍රදායික ක්‍රමයන් ගෙන් බැහැර ව නව තාක්‌ෂණයේ යහපත් පැතිකඩ වැළඳගැනීමට අප රටක්‌ වශයෙන් වහ වහා සූදානම් විය යුතු බව ය.

රන්දිම බණ්‌ඩාර
අපේ උරුමය ඩිජිටල්ගත කිරීමේ
ව්‍යාපෘති සාමාජික


උපුටා ගැනීම http://www.vidusara.com/2017/05/24/feature3.html

No comments:

Post a Comment