Sunday, August 19, 2018

ඇප නැතිව ණයක් ගන්න තරුණ ඔබට අවස්ථාවක් ලගදීම

ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

‘තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් 12%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් ගත හැකි වේ. සාර්ථක ව්‍යාපාර අදහසක් පැවතුණද එය ආරම්භ කිරීමට ප්‍රාග්ධනයක් නැති තරුණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාළ ණය මුදලක් අයදුම් කිරීමේදී ඊට සාපේක්ෂව ඇපකර තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය ලබාගැනීමට නුසුදුස්සන් වූ අතර, මෙබඳු අවස්ථාවල ඔවුන්ට ණය ලබා දෙන ලෙස රජය මෙතෙක් බැංකු වෙතින් කළ ඉල්ලීම්ද බැංකු විසින් නොසලකා හළ බවත්, මේ තත්ත්වය අවබෝධ කරගෙන විභවයක් සහිත ව්‍යාපාර පිළිබඳ අදහස් ඇති ව්‍යවසායක තරුණ-තරුණියන් තෝරාගෙන, මේ ණය ලබා දීමට පියවර ගන්නා බවත් ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරියා සඳහන් කළේය.

මේ අනුව විවිධ වෘත්තීන් පිළිබඳ කුසලතා සහිත එමෙන්ම සාර්ථක ව්‍යාපාර අදහස් ඇති තරුණ-තරුණියන්ට ව්‍යාපාර සැලසුමක් සකස් කර දීම, ණය උපදේශන සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපදේශන සේවය තම අමාත්‍යාංශය යටතේ පවතින කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය මඟින් සලසා දෙන බවත්, මේ වන විටත් ඔවුන් අතරින් 800කට ආසන්න ප්‍රමාණයකට ව්‍යාපාර සැලසුම් සකස් කොට ලංකා බැංකුව වෙත යොමු කර ඇති බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

මුලින්ම ලංකා බැංකුව සමඟ එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. එහිදී අදාළ ණය සඳහා සුදුසුකම් ලබන තරුණ-තරුණියන් තෝරාගැනීම සඳහා නිර්ණායක කිහිපයක් සකස් කර ඇති අතර, ඉදිරියේදී බැංකු නිලධාරීන්ද මේ පිළිබඳ නිසි ලෙස දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද මේ නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment