Thursday, September 3, 2015

මිතුරු වෙසින් සෙවන සදන මාරකය

ඔබ අප සෑම දෙනා ගේ ම පාහේ එදිනෙදා ජීවිත අව්වෙන් වැස්‌සෙන් බේරා දෙන්නේ ඇස්‌බැස්‌ටස්‌. ලොකු කුඩා භේදයක්‌ නොමැති ව ගමේත් නගරයේත් බොහෝ දෙනකු ගේ නිවාසවල වහළය සෙවිලි කර ඇත්තේ ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩුවලින්. මෙය නිවාසවලට පමණක්‌ නො ව කාර්යාලපාසල්රෝහල් ආදී අපේ ජීවිත ගැටගැසී ඇති අනෙකුත් ගොඩනැඟිලිවලටත් පොදු කතාන්දරයයි. සෙවිලි කිරීමට පමණක්‌ නො ව සිවිලිම් සඳහාත් භාවිත වන මේ ඇස්‌බැස්‌ටස්‌ බැලු බැල්මට පෙනී යන්නේ අපේ කටයුතු පහසු කරදෙන හිත මිතුරෙකු ලෙසයි. 

අතීතයේ දී මෙය මුළු ලෝකයට ම පොදු පිළිගැනීම වුවත් අද වන විට එය බොහෝ සේ වෙනස්‌ වී තිබෙනවා. ඒ මේ සමීප මිතුරා මරණීය තර්ජනයක්‌ වසන් කරගෙන සිටින බවට හෙළිදරව් වී තිබීමත් සමගයි.



ජපානයඉතාලියජර්මනියඕස්‌ටේ්‍රලියාව මෙන්ම යුරෝපා සංගමයේ සියලු රටවල් ඇතුළුව සංවර්ධිත රටවල් 50කට අධික ප්‍රමාණයක්‌ ඇස්‌බැස්‌ටස්‌ අඩංගු ද්‍රව්‍ය භාවිතය මේ වන විට සහමුලින් ම තහනම් කර දමා තිබෙනවා. ඇමෙරිකා එක්‌සත් ජනපදය විසින් ඇස්‌බැස්‌ටස්‌ මෙතෙක්‌ සහමුලින් ම තහනම් කරනු නො ලැබුවත් ඊට එරෙහි ව බරපතළ සීමා මායිම් පනවා තිබෙනවා. මෙයට හේතුව ඇස්‌බැස්‌ටස්‌ යනු මරණීය පිළිකාකාරක ද්‍රව්‍යයක්‌ බවට මේ වන විට සනාථ ව තිබීමයි. 

මොනව ද මේ ඇස්‌බැස්‌ටස්‌?

ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු ගැන නො දන්නා කෙනෙක්‌ නොමැති වුවත් ඒවා සාදන ඇස්‌බැස්‌ටස්‌ අමුද්‍රව්‍ය එන්නේ කොහෙන් දැයි බොහෝ දෙනා දන්නේ නැහැ. ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු නිපදවීමට භාවිත කරන ඇස්‌බැස්‌ටස්‌ යනු පොළොව කැණ ලබාගන්නා ඛනිජයක්‌ බව කිව්වොත් සමහර විට ඔබ පුදුම වේ වි. ඇස්‌බැස්‌ටස්‌ යනු ස්‌වාභාවිකව ඇති වන සිලිකේට පාෂාණ විශේෂයක්‌. මේවා සෑදී ඇත්තේ තන්තුමය ස්‌ඵටිකවලින්. එහි ඇති ඇසට පෙනෙන තන්තුක්‍ෂුද්‍ර තන්තු මිලියන ගණනක්‌ එක්‌රැස්‌ වීමෙන් සැකසී තිබෙනවා. බහුලව ම භාවිත වන ඇස්‌බැස්‌ටස්‌ ඒවායේ වර්ණය අනුව සුදුනිල් හා දුඹුරු ඇස්‌බැස්‌ටස්‌ ලෙස වෙන් කර හඳුනාගන්නවා. කෙසේ වෙතත් ඇස්‌බැස්‌ටස්‌ විශේෂ හයක්‌ ස්‌වාභාවික ව දැකගත හැකි අතර ඒවා නම් කර ඇත්තේ Chrysotile (සුදු ඇස්‌බැස්‌ටස්‌), Amosite (දුඹුරු ඇස්‌බැස්‌ටස්‌), Crocidolite (නිල් ඇස්‌බැස්‌ටස්‌), Tremolite, Anthophylite හා Actinolite ලෙස. මේ අතරින් බහුලව ම භාවිතයට ගැනෙන්නේ Chrysotile හෙවත් සුදු ඇස්‌බැස්‌ටස්‌.[Mg3(Si2O5)(OH)4] ඇස්‌බැස්‌ටස්‌ ගින්නටතාපයට මෙන්ම විවිධ ආම්ලික භාෂ්මික රසායන ද්‍රව්‍යයන්ට ප්‍රතිරෝධය දක්‌වනවා. මළ කෑමට බඳුන් නො වන එය විද්යුතය සන්නයනය නො කරන අතර ශක්‌තිමත් බවින් ද ඉතා ඉහළයි. ලොව පුරා විවිධ වානිජමය නිෂ්පාදන සඳහා ඇස්‌බැස්‌ටස්‌ බහුලව භාවිත කිරීමට හේතුව ඇස්‌බැස්‌ටස්‌වල ඇති මේ සුවිශේෂී ගුණයි. අප බොහෝ දෙනා ඇස්‌බැස්‌ටස්‌ කියූ සැණින් දන්නේ ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු ගැන වුවත් බ්‍රේක්‌ ලයිනර්ක්‌ලච් ප්ලේට්‌ගෑස්‌කට්‌තාප පරිවාරක නළතාප පරිවාරක බොයිලේරුතාප පරිවාරක ඇඳුම් හා අත්වැසුම් හා නොයෙකුත් ගොඩනැඟිලි ද්‍රව්‍ය මෙන්ම තවත් බොහෝ නිෂ්පාදන සඳහා මේවා යොදාගන්නවා. 

වාර්ෂික ව ඇස්‌බැස්‌ටස්‌ ටොන් මිලියන ගණනක්‌ ලෝකය පුරා රටවල ඇති ඇස්‌බැස්‌ටස්‌ නිධි මගින් කණිනු ලබනවා. 2009 වසරේ දී දැක්‌වුණු වාර්තා අනුව එය ටොන් මිලියන 2ක්‌. මින් 50%ක්‌ ම පාහේ රුසියාව විසින් නිපදවනු ලබන අතර චීනයබ්‍රසීලයකසකස්‌තානය ආදී රටවල් ඊළඟ ප්‍රධාන නිෂ්පාදකයින් වනවා. කැනඩාව ද මේ ලැයිස්‌තුවෙහි ඉහළින් සිටි නමුත් ඇස්‌බැස්‌ටස්‌ ප්‍රබල පිළිකාකාරකයක්‌ බවට කතිකාවතක්‌ ගොඩනැගීමත් සමග 2012 වසරේ දී ඇස්‌බැස්‌ටොස්‌ කැණීම හා නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නවතා දමනු ලැබුවා.

ඇස්‌බැස්‌ටස්‌ භාවිත කිරීම අද ඊයේ ඇරඹුණු දෙයක්‌ නො වෙයි. වසර 4500 කට පමණ පෙර කාලයේ පවා ජීවත් වූ මිනිසුන් සවි ශක්‌තියෙන් යුත් භාජන තැනීමට මැටි සමග ඇස්‌බැස්‌ටස්‌ මිශ්‍ර කළ බව සාධක තිබෙනවා. ඇස්‌බැස්‌ටස්‌ නිධි සහිත රටවල් බොහොමයක්‌ ඉතිහාසය පුරා විවිධ යෙදුම් සඳහා ඒවා භාවිත කොට තිබෙනවා. 1800න් පසු කාර්මික විප්ලවය හා සමගාමී ව ඇස්‌බැස්‌ටස්‌කර්මාන්තශාලාවල විවිධ උපාංග නිෂ්පාදනය සඳහා භාවිතය ඉහළ ගිය අතර 1900න් පමණ පසු යන්ත්‍රාණුසාරයෙන් ඇස්‌බැස්‌ටස්‌ කැණීම ඇරඹීමත් සමඟ ලොව පුරා විවිධ නිෂ්පාදන සඳහා එහි භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගියා.



ඇස්‌බැස්‌ටස්‌ හානිකර වන්නේ කොහොම ද?

ඇස්‌බැස්‌ටස්‌වලින් සිදු වන හානිය පිළිබඳව අතීතයේ දී පවා විවිධ සිදුවිම් වාර්තා වී තිබුණත් එය නිවැරැදිව තහවුරු කරගනු ලැබුවේ පසුගිය ශතවර්ෂය තුළයි. 1980 පමණ සිට එතෙක්‌ ඇස්‌බැස්‌ටස්‌ භාවිත කළ නිෂ්පාදන ගණනාවක්‌ තහනම් කරනු ලැබුවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අද වසරකට පුද්ගලයන් මිලියන 125කට පමණ තම වැඩපොළේ දී ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වීමට සිදු වනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවලට අනුව එමගින් වාර්ෂික ව මිය යන ප්‍රමාණය 107,000ක්‌ පමණ වනවා.

"ඇස්‌බැස්‌ටස්‌ මගින් මරණීය හානි පැමිණෙන්නේ එහි ඇති සියුම් තන්තු ශරීරගත වීම මඟිනුයි."

එසේ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිසර හා වෘත්තීමය සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ඉනෝකා සුරවීර මහත්මියයි. 

"ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු නිරීක්‌ෂණය කිරීමේ දී එහි ඇති සියුම් තන්තු අපට ද පියවි ඇසින් දකින්න පුළුවන්. නමුත් ඇත්තට ම අපේ ශරීරගත වන්නේ එම තන්තු සෑදී ඇති මිලියන ගණනක්‌ වූ ක්‍ෂුද්‍ර තන්තුයි. ඇසට නො පෙනෙන මේ ක්‍ෂුද්‍ර කෙඳිති ඇස්‌බැස්‌ටස්‌වලින් ගැලවී ගොස්‌ වාතයට එක්‌ වී ආශ්වාසය හරහා අපගේ ශරීරගත වෙනවා. ප්‍රධාන වශයෙන් ආශ්වාසයෙන් ශරීරගත වුණත් ආහාර පාන මගින් හා සම හරහා ද මේ කෙඳිති ශරීරගත වීමට ඉඩ තිබෙනවා. සාමාන්‍ය මුඛ ආවරණයන් පැළඳීම මගින් මේ ක්‌ෂුද්‍ර තන්තුවලින් ආරක්‌ෂා වීමට හැකියාවක්‌ නැහැ. ඒ තන්තු පහසුවෙන් ඒවායේ සිදුරු අතරින් රිංගා යනවා. නාසයේ ඇති රෝමශ්ලේශ්මල පටල ආදී ස්‌වාභාවික ආරක්‌ෂණ ක්‍රමවේද ද ඒවාට ප්‍රතිරෝධය දැක්‌වීමට සමත් නැහැ." 

ඇස්‌බැස්‌ටස්‌ ක්‍ෂුද්‍ර තන්තුවලට නිරාවණය වීමට වැඩි ම ඉඩක්‌ ඇති පිරිස වන්නේ ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින්නනුයි. නිසි මුඛ ආවරණආරක්‌ෂිත ඇඳුම් ආදිය පැළඳ නො සිටින්නේ නම් ඔවුන් නිසැකව ම මේ අනතුරට විශාල ලෙස මුහුණ දෙනවා. මීට අමතර ව ඇස්‌බැස්‌ටස්‌ කර්මාන්ත ශාලා අසල ජීවත් වන පිරිස්‌ හා එම සේවකයන් ගේ පවුලේ සාමාජිකයන් ද මෙමගින් ඇති වන රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ අවස්‌ථා තිබෙනවා. සේවකයන්ගේ හිසකෙස්‌ඇඳුම් හා සපත්තු හරහා ඇස්‌බැස්‌ටස්‌ තන්තු නිවසට පැමිණීම නිසා මෙය සිදු වන බවයි සැක කෙරෙන්නේ. ඊළඟට ඊට මුහුණ පාන්නේ පෙදරේරුවන් හා ගොඩනැඟිලි ඉදිකිරීම් ශිල්පීනුයි. ඇස්‌බැස්‌ටස්‌ කැපීම

රැගෙන යැමභාවිත කිරීම ආදී කටයුතුවල දී ඔවුන් මේ අවදානමට මුහුණ දෙනවා. විදේශ රටවල මේ ගැටලුවට මුහුණ පා සිටින තවත් පිරිසක්‌ වන්නේ ගොඩනැඟිලි බිඳ දැමීමේ කටයුතුවල හා ගලවාගැනීමේ කටයුතුවල යෙදි සිටින්නන්. (ලෝක වෙළෙඳ පළ ප්‍රහාරයෙන් පසු සුන්බුන් අතර මෙහෙයුම්වල නිරත වූ ගලවාගැනීමේ නිලධාරීන් දැඩි ලෙස ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වී ඇති අතර ඔවුන් ගේ මරණ අනුපාතය මේ හේතුවෙන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස්‌ ඇති බව සොයාගෙන තිබෙනවා.) කුඩා ප්‍රමාණවලින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වීමත් විශාල ප්‍රමාණයකට කුඩා කාලයක්‌ තිස්‌සේ නිරාවරණය වීමත් යන ක්‍රම දෙක හරහා ම ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත රෝගවලට මුහුණ දීමට සිදු විය හැකියි. 

අවසාන වශයෙන් මේ ගැටලුවට මුහුණ දෙන්නේ ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදන (බොහෝ විට සෙවිලි තහඩු) භාවිත කරන අප ඔබ වැනි සාමාන්‍ය ජනතාවයි. අප ඊට නිරාවරණය වන අවදානම සාපේක්‌ෂව අඩු එකක්‌ වුවත් එය නො සලකා හැරිය හැකි මට්‌ටමක නො පවතින බවයි වෛද්‍ය ඉනෝකා සුරවීර පවසන්නේ. 

ඇස්‌බැස්‌ටස්‌ නිසා ඇති වන අංක එකේ මරණීය අනතුර වනුයේ පෙනහලු පිළිකා ඇති වීම බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

"පෙනහලු තුළ තැන්පත් වන ඇස්‌බැස්‌ටස්‌ අංශු පෙනහලු පිළිකා ඇති කිරීමට හේතුකාරක වෙනවා. ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති නිසා සෘජුව ම පිළිකා ඇතිවනවාට අමතරව වෙනත් හේතූන් නිසා ඇති වන පෙනහලු පිළිකා තත්ත්වයන් වැඩිදියුණු වීම ද සිදු විය හැකියි. උදාහරණයක්‌ ලෙස සාමාන්‍ය දුම් පානය කරන්නකුට වඩා ඇස්‌බැස්‌ටස්‌වලට බහුලව නිරාවරණය වන දුම්පානය කරන්නකු මේ රෝගයට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළ වීම දක්‌වන්නට පුළුවන්. 

ඇස්‌බැස්‌ටස්‌ නිසා ඇති විය හැකි දෙවැනි මරණීය අනතුර වන්නේ මීසොතීලියෝමා (Mesothlioma) නම් පිළිකාව වැළඳීමයි. පෙනහැල්ල ආරක්‌ෂා කරන ප්ලූරාව මත ඇති වන මේ පිළිකා විශේෂයෙහි ඇති විශේෂත්වය වන්නේ එය ඇස්‌බැස්‌ටස්‌ නිසා පමණක්‌ ම ඇති වන්නක්‌ වීමයි. පෙනහලු පිළිකා මෙන් නො ව මේ පිළිකාව ඇති වන්නේ ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වීමෙන් වසර 30ක්‌ 40ක්‌ පමණ ගත වීමෙන් අනතුරුවයි. මිට අමතර ව මෑත කාලීන ව කරන ලද පර්යේෂණවල දී ඇස්‌බැස්‌ටස්‌ ඩිම්බ කෝෂ ආශ්‍රිතව හා ගලනාලය ආශ්‍රිතව පිළිකා ඇති කිරීමට ද හේතු වන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම හුස්‌මා ගැනීම අපහසුවීම වැනි තත්ත්වයන් ඇති කරන ඇස්‌බැස්‌ටෝසිස්‌ නම් පිළිකා නොවන රෝගී තත්ත්වය ද ඇතිවිය හැකියි. " 



කියන තරම් බරපතළ නැද්ද?

අප ගේ සෞඛ්‍යයට වින කටින ඇස්‌බැස්‌ටස්‌වලින් වැඩිපුර ම පහරකෑමට ලක්‌ වන්නේ ඒවා භාවිත කරමින් සෙවිලි තහඩු වැනි නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලාවල සේවයේ නියුතු වූවන් බව පැහැදිලියි. අද යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල ඇස්‌බැස්‌ටස්‌ තහනම් කෙරෙමින් පවතින තත්ත්වය තුළ තම ලාභය අහිමි කරගැනීමට අකැමැති නිෂ්පාදකයන් වඩ වඩා දකුණු ආසියානුදකුණු අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු රටවල තම ව්‍යාපාරයන් තහවුරු කරගැනීමට වැඩි ප්‍රයත්නයක්‌ දරනවා. 

ආර්ථික වශයෙන් එතරම් ප්‍රබල නො වන හා පොදුවේ සමාජයක්‌ ලෙස ගත් කල සියුම් විද්‍යාත්මක කරුණු කෙරෙහි එතරම් සංවේදී නො වන මේ රටවල සේවකයන් ගේ ආරක්‌ෂාව කෙරෙහි දක්‌වන සැලකිල්ල බෙහෝ විට පවතින්නේ ඉතා ම පහළ මට්‌ටමකයි. ශ්‍රී ලංකාව ද ඇතුළු මෙබඳු බොහෝ රටවල ඇස්‌බැස්‌ටස්‌ සමග සේවයේ නියුතු සේවකයන් බොහොමයක්‌ නිසි ආරක්‌ෂිත ඇඳුම්අත්වැසුම් හා මුඛවාඩම් ආදිය භාවිත කරනු ලබන්නේ නැහැ. සේවක ආරක්‌ෂාව පිළිබඳව දැනට පවතින අණ පනත්ද නිසි පරිදි බලාත්මක නො වීම මේ තත්ත්වය උග්‍ර කරනවා. 

ඇස්‌බැස්‌ටස්‌වල ඔය කියන තරම් හානිකර බවක්‌ නැති බව කියන්නට ඇස්‌බැස්‌ටස්‌ අමුද්‍රව්‍ය ලෙස නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් හා ඒවා ආශ්‍රයෙන් විවිධ නිෂ්පාදන සිදු කරන බොහෝමයක්‌ සමාගම් දරන්නේ විශාල උත්සාහයක්‌. මේ සඳහා මුදලට යට වූ විවිධ පිරිස්‌වල සහාය ඔවුන් ලබාගන්නවා. මෙලෙස ඇස්‌බැස්‌ටස්‌ හානි විරහිත බව කියා පෑමේ අරමුණ වෙනුවෙන් ම ඇති කරනු ලැබූ වෙබ් අඩවි ද අන්තර්ජාලයේ දැකිය හැකියි. ඇත්තට ම ඔවුන් පවසන පරිදි ඇස්‌බැස්‌ටස්‌වලින් සිදු වනවා යෑයි කියන හානිය බොරුවක්‌ ද

මේ අදහස පිළිsබඳව පිළිතුරු වශයෙන් අවධාරණය කළ යුතු කරුණ නම් ඇස්‌බැස්‌ටස්‌වලින් සිදු වන හානිය සැක රහිත ව තහවුරු කරන ලද්දක්‌ බවයි. ලෝකයේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවසන් තීන්දු තීරණ ලබා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්‌බැස්‌ටස්‌ පිළිකාකාරකයක්‌ බවට ප්‍රකාශ කර ඇති අතර ඉන් වැළකීමට හැකි ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස්‌ ලබා දෙනවා. පිළිකා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට විශේෂයෙන් පිහිටුවා ඇති පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය (IARC) ද ඇස්‌බැස්‌ටස්‌ මගින් සිදු වන හානිය නැවත නැවතත් තහවුරු කරනවා. 

ඇස්‌බැස්‌ටස්‌ හානිකර නොවන බවට ශ්‍රී ලංකාව තුළ අදහස්‌ ඉදිරිපත් කර පිරිස්‌ අසන එක්‌ ප්‍රශ්නයක්‌ වන්නේ ශ්‍රී ලංකාව තුළ ඇස්‌බැස්‌ටස්‌ නිසා සිදු වූ මරණ වාර්තා වී ඇත් ද යන්නයි. මේ පිළිබඳ අදහස්‌ දක්‌වන වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය නැවත ප්‍රශ්න කරන්නේ දුම්වැටි පිළිකාකාරකයක්‌ බව පිළිගන්නට දුම්වැටි නිසා අපේ රටේ මිනිසුන් මිය යන තුරු අප බලා සිටියා ද යන්නයි. 

"ලෝකය පුරා විද්‍යාත්මක ව පිළිකාකාරකයක්‌ ලෙස තහවුරු වූවක්‌ අප රට තුළ ද පිළිකාකාරකයක්‌ ලෙස පිළිගැනීමට අපේ රටේ ද මිනිසුන් මිය යන තුරු බලා සිටිය යුතු නැහැ. දියුණු උපාංග භාවිත කිරීමට ඇති මූල්‍යමය බාධක මෙන්ම වැඩි ප්‍රමුඛතාවක්‌ දැක්‌විය යුතු වෙනත් ගැටලු ඇති නිසාබටහිර රටවල් තරම් සියුම් සෞඛ්‍ය කරුණු කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කරන්නට අපේ රටවල සෞඛ්‍ය පද්ධතියට එතරම් හැකියාවක්‌ නැහැ. මෙනිසා ඇස්‌බැස්‌ටස්‌ මගින් සිදු වන මරණයන් ද වෙනත් හේතූන්හි ගිණුම්වලට බැර වී නො පෙනී යනවා වන්නට පුළුවන්. ඇස්‌බැස්‌ටස්‌ ශරීරගත වීම නිසා රෝගී බවට පත් වූ පුද්ගලයන් දැනටමත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඩෙංගු හෝ මත්පැන් තරම් වාර්ෂික ව විශාල ප්‍රමාණයක්‌ මරා දැමීමට ඇස්‌බැස්‌ටස්‌ සමත් නො වුණත් පිළිකාකාරකයක්‌ ලෙස තහවුරු වී ඇති මෙය පිළිබඳව තවදුරටත් ක්‍රියාමාර්ග නො ගෙන සිටීම අපේ ජීවිත මෙන්ම අනාගත දරු පරපුරෙහි ජීවිත ද අනතුරෙහි හෙළීමට හේතුවක්‌."

අප කළ යුත්තේ කුමක්‌ ද

උපන් දා සිට ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු යට ජීවත් වූ බොහෝ දෙනාට ඇස්‌බැස්‌ටස්‌ පිළිකාකාරකයක්‌ බව දැනගැනීම තැතිගැන්මක්‌ ඇති කරනු ලබන කරුණක්‌ වනු ඇති බව නොඅනුමානයි. එහෙත් ඔබ කලබල විය යුතු නැහැ. පවතින වහළය හදිස්‌සියේ ගලවා දමා වෙනත් වර්ගයක වහළයක්‌ සවි කරගැනීම මීට ඇති එක ම විසඳුම ලෙස පෙනී ගියත් එය මුදල් හදල් ඇති කිහිප දෙනකු ගේ මිස අප ඔබ බොහෝ දෙනකු ගේ ආර්ථිකයට ගැලපෙන විකල්පයක්‌ නො වෙයි. මේ ප්‍රායෝගික තත්ත්වය තුළ ඇස්‌බැස්‌ටස්‌ සහමුලින් ම අත්හරිනවා වෙනුවට (සහමුලින් ම අත්හැර දැමිය හැකි දිනයක්‌ එනතුරු) එමගින් ඇති වන අනතුරුදායක බව අවම වන සේ කළමනාකරණය කරගැනීමට කටයුතු කරන ලෙස විශේෂඥයන් උපදෙස්‌ දෙනවා. ඒ සඳහා ක්‍රියාමාර්ග ගණනාවක්‌ ඔවුන් යෝජනා කරන අතර ඒ අතර වන ප්‍රධාන උපදේශය වන්නේ පවතින ඇස්‌බැස්‌ටස්‌වලට පාඩුවේ ඉන්නට ඉඩහරින ලෙසයි. 

මින් අදහස්‌ වන්නේ නිවසේ ඇති ඇස්‌බැස්‌ටස්‌ සමඟ ගනුදෙනු කිරීමෙන් හැකිතාක්‌ වැළකී සිටීමයි. ඇස්‌බැස්‌ටස්‌ වහළ මත නැඟීමරෙදි වැනීමනිදාගැනීමසෙල්ලම් කිරීම ආදී කටයුතුවලින් වැළකී සිටිය යුතුයි. එමෙන් ම විවිධ අවශ්‍යතා සඳහා ඇස්‌බැස්‌ටස්‌ තහඩු කපන්නට යැම ඉතා ම අනතුරුදායකයි. එමෙන් ම සෙවිලි තහඩු පිරිසිදු කිරීමට ඒවායේ මතුපිට සූරා දැමීමත් මෙලෙස ම ඇස්‌බැස්‌ටස්‌ ක්‌ෂුද්‍ර තන්තුවලට විශාල ලෙස නිරාවරණය වීමට ඇති අවස්‌ථාවක්‌. යම් හෙයකින් නොවැළැක්‌විය හැකි හේතුවක්‌ මත ඇස්‌බැස්‌ටස්‌ කපන්නට හෝ සූරන්නට සිදු වුව හොත් ඇස්‌බැස්‌ටස්‌ දුහුවිලිවලට නිරාවරණය නො වන සේ එය කිරීමට හැකිතාක්‌ උත්සාහ කරන්න. කුඩා දරුවන්ට ඒ අසලට එන්නට ඉඩ දීමෙන් සහමුලින් ම වැළකිය යුතුයි. දීර්ඝකාලීන ව හානිකර ප්‍රතිඵල ඇති කරනවා. ඇස්‌බැස්‌ටස්‌වලටවැඩිහිටියන් ගේ ඉතිරි ව ඇති ජීවිත කාලය තුළ හානියක්‌ කරන්නට අවස්‌ථාව නො ලැබීමට ඉඩ තිබුණත් දරුවන් ගේ අනාගත ජීවිතය එමගින් අඳුරු වීමට වුවමනා තරම් කල් තිබෙනවා. 

ඇස්‌බැස්‌ටස්‌ තහඩු කාලයක්‌ තිස්‌සේ අව්වට වැස්‌සට නිරාවරණය වීමෙන් ඒවායේ මතුපිට පුස්‌ බැඳී දිරාපත් වී පවතිනවා ඔබ දැක ඇති. මෙවැනි මතුපිට ව්‍යqහය දුර්වල වූ ඇස්‌බැස්‌ටස්‌ තහඩු මගින් වාතයට නිකුත් කරනු ලබන කෙඳිති ප්‍රමාණය ඉතා ම වැඩියි. මෙබඳු තහඩු මත තීන්ත ආලේප කිරීමෙන් එහි ඇති අවදානම අඩු කරගත හැකියි. එසේ නොහැකි නම් ඒවා අසලට යැමෙන් හැකිතාක්‌ වැළකී සිටින්න. මෙබඳු දිරා ගිය සෙවිලි තහඩු බිඳී ගොස්‌ ඉතිරි වන කැබැලි විවිධ අවශ්‍යතා සඳහා භාවිත කිරීමට අප බෙහෝ දෙනා පුරුදු ව සිටිනවා. නමුත් එය තවදුරටත් අපව අනතුරට නිරාවරණය කරනවා. කුඩා දරුවන් මේවා භාවිත කරමින් සෙල්ලම් කිරීමට පුරුදු ව සිටීම මේ අනතුර වඩා තීව්‍ර කරන්නක්‌. මෙලෙස බිඳී ඉවත් කරන පැරැණි ඇස්‌බැස්‌ටස්‌ කැබැලි පොළොවෙහි වළක්‌ හාරා වළලා දමන ලෙසයිවිශේෂඥයන් උපදෙස්‌ දෙන්නේ. 

මේ සියල්ල කළ යුත්තේ ඔබට ඔබේ ඇස්‌බැස්‌ටස්‌ වහළයෙන් මිදීමට ප්‍රායෝගික අවකාශයක්‌ නැත්නම් පමණයි. නව නිවසක්‌ ගොඩනඟන්නට බලාපොරොත්තු තබාගෙන සිටිනවා නම් ඒ සඳහා ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු වෙනුවට වෙනත් විකල්ප සෙවිලි තහඩුවක්‌ භාවිත කරන්න. උළු භාවිතය අපහසු නම් ඔබට ගත හැකි හොඳ ම විකල්පය වන්නේ ඇලුමිනියම් සින්ක්‌ මිශ්‍ර්‍ර ලෝහ සෙවිලි තහඩු. (ශ්‍රී ලංකාවේ මෙය අමානෝ තහඩු ලෙස වෙළඳ නාමයකින් බහුලව ව්‍යවහාරයේ පවතිනවා). ශක්‌තියකල්පැවැත්මසැහැල්ලු බව හා නම්‍යශීලිත්වය අතින් ටකරම්වලට වඩා විශාල ලෙස ඉහළින් පවතින මේ තහඩු විශේෂය සෞඛ්‍ය ආරක්‌ෂිත බවින් ද යුක්‌තයි. මේවා භාවිත කිරීමේ ඇති එක ම ගැටලුව වන්නේ දැනට වෙළෙඳ පොළේ මේවායේ මිල තරමක්‌ ඉහළ වීමයි. කෙසේ නමුත් දරුවන් ගේ ආරක්‌ෂාව පිළිබඳ සැලකූ විට එය බුද්ධිමත් අනාගත ආයෝජනයක්‌ වනවාට සැක නැහැ. 

ඇස්‌බැස්‌ටස්‌ පරිහරණයේ අනතුරුදායක බව පිළිබඳ තවමත් ප්‍රමාණවත් කතාබහක්‌ අප සමාජයේ සිදු ව නැහැ. ඊට හේතුව එහි අහිතකර විපාක කෙටිකාලීන ව ප්‍රකට නො වීමයි. කෙසේ වෙතත් මේ දැනුම සමාජගත කිරීමේ හා ඊට අනුකූලව ක්‍රියාත්මක වීමේ වගකීම අප සතු ව තිබෙනවා. ජාතික මට්‌ටමේ අර්බුදයක්‌ ලෙස සලකා ඇස්‌බැස්‌ටස්‌ භාවිතය සීමා කිරීමට හා ඒවාට නිරාවරණය වන සේවකයන් ගේ ආරක්‌ෂාව තහවුරු කිරීමට රජය මැදිහත් විය යුතුයි. කෙසේ වෙතත් ආර්ථික සාධකදේශපාලනය හා විද්‍යාත්මක දැනුම අතර මත තුලනයක්‌ ඇති වී සාධනීය ප්‍රතිඵලයක්‌ ඉස්‌මතු වීමට යම් කාලයක්‌ ගත විය හැකි බැවින් අප කළ යුත්තේ අපට හැකි පමණින් ඉන් ආරක්‌ෂා වී සිටීමයි. මුළු මහත් සමාජය ම මේ පිළිබඳ සවිඥනික වුව හොත් පෙනෙමින් නො පෙනෙමින් නිහඩ ව අප වෙත පැමිණෙන ඇස්‌බැස්‌ටස්‌ මාරයා ගෙන් ගැලවීමට අපට හැකි වනු ඇති.

උපුටා ගැනීම විදුසර පුවත්පත

සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

Email-sivlima.lk@gmail.com

Web- https://www.sivilima.work

https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU

Pinterest https://pin.it/7yoplua

#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය


No comments:

Post a Comment